Tuesday, July 31, 2012
පුංචි රෝස මල..
කලු පාට කැරලි කැරලි කොන්ඩේ.. පිට දිගට වැටිලා.. අද උදේම නාලද කොහෙද.. එක පේලියට තියලා තියෙන පොත් දිගේ හෙමිට ඇඟිලි අරගෙන යන්නේ හරියට භාවනාවක් කරනවා වගේ.. අරණකට පෙම් බැඳ.. කටු ඔටුනු.. ගෝරා...පොත් එකෙන් එක ඒ ඇඟිලි වල පහස ලබනවා.. මමත් පොතක් වුනා නම් ඒ රාක්කෙට වෙලා ඉන්න තිබුනා එයා මාව තෝරගනී කියලා හිතාගෙන.. ඒත් තාම මගේ පැත්තට හැරුනේ නැනේ... මූණ දැක්කේ නෑ තාම.. ඇඳලා ඉන්න රෝස පාට ගවුමට මේ ළමයා තව ලස්සනට පේනවා.. තව නම් ඉන්න හිතෙන්නේ නැ..
"නංගි මොකක්ද හොයන පොත?"
"ආහ්.. මන් නිකන් මොකක් හරි පොතක් බැලුවේ.. "
හින් හිනාව.. ඇස් පුංචි කරලා බලන කොට හරිම ආසයි..
"ගෝරා පොත ලස්සනයි මන් හිතන්නේ.." කතාව ඉකමනට ඉවර වෙන්න ඕනේ නැ මට.
"හ්ම්ම්.. මන් කියවලා තියෙනවා.." මන් දිහා නොබලාම පොත් තෝරනවා..
"නංගිව ගොඩ කාලෙකින් දැක්කේ..." ඒ සැරේ නම් ඔලුව උස්සලා බැලුවා.
"ලෙක්චරස්ලා ස්ට්‍රක් නේ අයියේ.. ඒ නිසා කැම්පස් එවෙන්නේ නැ.. ලයිබ්‍රරි එකත් ගොඩක් දවස් වහලා නේ තිබුනේ.."
ආයේ පොත දිහා බලාගෙන.. අනේ මන්දා.. ඔච්චර දෙයක් තියෙනවද ඔය පොත් වල බලන්න.. එකක් අරගත්තා නම් ඉවරයි නේ..
"හ්ම්ම්.. අපිත් ටිකක් කල් ස්ට්‍රක් කලා තමා.."
"අයියට වැඩ නැද්ද?" ඔලුවවත් උස්සන්නේ නැතුව අහනවා.ට්‍රොලියේ පොත් පුරවලා.රාක්ක වලට දාන්න ඕනේ.. ඒත් ඔයා මෙතන ඉද්දී මම යන්නේ කොහොමද.."තියෙනවා තියෙනවා.. මේ පොත් ටික රාක්ක වලට දාන්න ඕනේ.."
"මන් යනවා.." එකපාරටම පොතකුත් අරගෙන යන්න ගත්තා.
"ආහ් හරි නංගි.." ඇහුණද මන්දා..ඒ තරම් ඉක්මනට යන්න ගියා.. මොනා හිතනවද දන්නේ නැ.. ජනෙලේ ගාවට වෙලා මන් බලාගෙන හිටියා.. ලයිබ්‍රරියෙන් පිට වෙලා ඇවිද ගෙන යනවා පුංචි රෝස මල.. ආයේ කවදා එයිද දන්නේ නැ..
සඳවතිය ඔබ මට අහිමි
දුරින් හිඳ සැනසෙන්නම් මා
සඳ එළිය වත් නෑ අයිති
මැරුණු තරුවක් මා..
රෝස සිඟිත්ති ඔබය
පිපිනු අන් සතු උයනක
සුවඳ ගන්නටවත් බෑ මට
ලන්වෙන්න තටු නෑ මට....
ඔබව දුටු සරසවි බිමෙන්
ඔබ යාවි පිටවෙලා කලකින්
මම හිඳී මඟ බලා
ඔබ ආයේ එයි කියා..
"කියවන ඔයාලාගේ අදහස් ගොඩාක් වටිනවා යාලු.. ඒ නිසා පුංචි දෙයක් හරි කියලා යනවා නම් ගොඩාක් සතුටුයි."
Monday, July 30, 2012
වසා ගන් දොර මගේ හිමියෙනි...
අහස ගුගුරා.. අකුණු පුපුරා..
මගේ හිත වැන්දඹු වුනා...
වසා ගන් දොර මගේ හිමියනි
නුඹට රිසි නම් යන්නට යන්නෙමි....
"හරිම ලස්සන සින්දුවක් නේ?"
නිමාලි රේඩියෝවේ සද්දේ තව ටිකක් වැඩි කරන ගමන් ඇහුව්වා..
"ඇත්ත අනේ.. මමත් ඕක ටීවි එකේ ටෙලිඩ්‍රාමා එකක යනවා ඇහුව්වා.."
"නන්දා මාලිනිගේ කටහඬට ඒක හොඳට මැච්වෙනවා නේ.."
ස්ටාෆ් රූම් එකේ අනිත් කට්ටිය නිමාලි කියපු දේට එකඟ වුනේ එයලාගේ අදහසුත් කියන ගමන්..
"මොකෝ සංගීත හා සින්දු පිළිබඳ මහාචාර්යවරියගෙන් කිසිම අදහසක් නැත්තේ?? ඇයි සින්දුව හොඳ නැද්ද??" පාලිත එහෙම ඇහුව්වේ මම කිසිම දෙයක් නොකියා ඔහේ බලාගෙන හිටපු නිසා වෙන්නැති.. වෙනදාට සින්දු ගැන කතාවක් නම් මුලින්ම කියවන්න පටන් ගන්නේ මම කියලා එයලා හැමෝම දන්නවා..
"'ඒක තමා මමත් මේ බැලුවේ.. මොකෝ මනීශා සින්දුව අල්ලන්නේ නැද්ද??" නිමාලිත් මගේ දිහා බලාගෙන ඇහුව්වා.
"නැ අනේ මම ඔය සින්දුව කලින් අහලා නෑ.. ඒකයි.. මම මේ ටිකක් වෙලා අහගෙන හිටියා.. මුකුත් කියන්න කලින් සින්දුව අහලා ඉන්න එපැයි.." මම කට්ටියගේ ඇස් මඟ අරින ගමන් කිව්වා.
"ඇහ්..ඒක පුදුමෙනුත් පුදුමයි නේ.. ඔයා අහලා නැති සින්දුත් තියෙනවද.."පාලිත හිනා වෙනවා..
හීන් හිනාවක් මූනට අලවගෙන මම බෑග් එකත් අරන් නැගිට්ටා.. "සමහර ඒවා ඉතින් අහලා නෑ.. මන් යනවා ලයිබ්‍රරි එකට.. ගත්ත පොතක් තියෙනවා රිටන් කරන්න.. නැත්නම් කුසුමා මිස් ආයේ කම්ප්ලේන් කරයි ටීචර්ලා පොත් අරන් භාර දෙන්නේ නැ කියලා.."
එහෙම කියාගෙනම ස්ටාෆ් රූම් එකෙන් එළියට ආවට ඇත්තටම භාර දෙන්න පොතක් මගේ අතේ තිබුනේ නැ.. ඒත් කෝකටත් එක්ක මම ලයිබ්‍රරි එකටම යනවා.. අයිනකට වෙලා පොතක් වත් බැලුවොත් ඊළඟ පීරියඩ් එකට කලින් කලබල වෙලා තියෙන මගේ හිත සන්සුන් කරග්න්න පුළුවන් වෙයි කියලා මම හිතුවා.
"තමුසේට මේ ගෙදර ඉන්න බැරි නම් බැහැලා යනවා යන්න.. මට පව් නොදී.."
කුශාන්ගේ කටහඬ තාමත් මගේ කන් ඇතුලේ දොංකාරය දෙනවා. හරියට ඒක ඊයේ වුනු දෙයක් වගේ. මට කුශාන්ව හම්බුවුනේ කැම්පස් එකේදී. ඒත් අපි දෙන්න ගොඩාක් කල් ආශ්‍රය කලේ යාලුවෝ වගේ.අවුරුදු තුනක්ම යාලුවෝ වගේ ඉඳලත් ඕකාව හරියට අඳුරගන්න බැරි වුනාද කියලා සඳු අහන කොට නම් මම මගේ මුලු ජීවිතේම රැවටිලා ඉඳලා නේද කියලා හිතුනා..ඒත් මේක එයාගේ වැරද්දක් විතරක්ම නෙවියිනේ.මමත් මේකට වගකියන්න ඕනේ.හැමදාම වගේ අදත් මගේ හිත එයාව සුද්ද කරනවා. මන් හැමදාමත් කලේ ඒක.එයාගේ වැරදි දාහක් පෙනෙද්දිත් එයාව සුද්ද කර කර ලඟට වෙලා හිටියා.ඒත් එයාට මගේ එක වැරැද්දක් ඉවසන්න බැරි වුනා.
කැම්පස් එකෙන් අවුට් වෙන දවසේ මාර ගහ යටදී "මට ඔයා නැතුව ඉන්න බෑ මනීශා..මන් ඔයාට ආදරේ කරනවා" කියාලා මාව බදාගෙන සිපගනිද්දී මම කවදාවත් හිතුවේ නෑ ඔයට මන් නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා.ඒත් අනේ මන්දා.දෛවය කියන්නේ අපිට හිතන දේම නෙවෙයිනේ. එහෙම ඉන්න බැ කියපු ඔයා දැන අවුරුදු දෙකක් තිස්සේ මගේ මූනවත් බලන්නේ නැතුව ඉන්නවා.
මන් දන්නවා ඔයාගේ අම්මලා විතරක් නෙවෙයි අපේ අම්මලාත් පුංචි පැටියෙක් අපේ පවුලට එනකන් ඇඟිලි ගැන ගැන හිටියා..එයලා විතරක් නෙවෙයි දෙයියනේ මමත් කවදාහරි අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටියා.ඔයාගේ ලෙයින් හැදිච්ච පුංචි පැටියෙක්ව මගේ උකුලේ තියාගෙන නළවන්න මමත් ආසාවෙන් හිටියා.
ඒත් ඒ හැමදෙයක්ම අපි හිතුවේ වත් නැති විදිහට අපිට නැති වුනා. හොඳට හිටපු අපි දෙන්නා රංඩු කරන්න පටන් ගත්තා.ඒ හැමවෙලාකම මම වැරදිකාරි වුනා.ඔයා ඔෆිස් එකේ ගෑනියෙක් එක්ක එහෙ මෙහෙ යනවා කියලා දැන දැනත් මම කට පියාගෙන හිටියා.
ඒත් මම එහෙම හැමදේම ඉවසගෙන හිතේ හිර කරගෙන හිටිය පීඩනය මන් හිතුවේ වත් නැති පැත්තකින් එළියට ආවා. සත්තයි කුශාන් මම ඔයාව රවට්ටන්න හිතුවේ නෑ කවදාවත්ම.ඒත් ඔයාගෙන් නොලැබෙන ආදරේ සහන්ගෙන් ලැබෙන කොට මන් එයාට ලන් වුනා. ඔයාගේ උණුසුම් හැර වෙන උණුසුමක් ගැන හීනෙකින්වත් හිතුවේ නැති මම, මටත් හොරා සහන්ගේ උණුසුමට තුරුල් වුනා. ඒත් ඒ එකම එක දවසකට විතරයි.එදයින් පස්සේ මම මොන තරම් වැරදිකාරියෙක්ද කියලා මගේ හිත මට දොස් කිව්වා.
මම හිතුවේ ආයේ ඔයා එක්ක ජීවිතේ අලුතින් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මන් නොහිතපු විදිහට මෙච්චර කල් වඳ ගෑනි කියලා හංවඩු ගහපු මම වඳ නෑ කියලා දැන ගත්තා.
මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම ඔයා මන් දිහා සැකෙන් වගේ බැලුවේ ඔයා දැනගෙන හිටියා නේද වැරද්ද මගේ නෙවෙයි ඔයාගේ කියලා? ඒත් ඔයාගේ නෑදෑයෝ මට වඳයි කියලා බනිනකොට මන් වෙනුවෙන් එක වචනයක් වත් කතාකරන්න ඔයාට බැරි වුනා කුශාන්.
ඕකාගේ තාත්තා කවුද කියලා කෑගහලා අහනකොට මට අහන්න ඕනේ වුනේ "ඇයි ඔයා වෙන්න බැරිද" කියලා..
ඒත් ඒකත් හිතේ හිර කරගෙන මම ඔයාගේ පස්සෙන් ගෑටුවේ මගේ කුසට නොදන්වා ආපු ඒ පුංචි ආත්මය තලලා පොඩි කරලා දාන්න.
ඔයාට ඕනේ විදිහට ඒකත් කලාට පස්සේ මන් වනචර ගෑනියෙක් කියලා බැන්නට අමතක වුනාද ඔයාට, ඔයා ඔෆිස් එකේ නිරාශා එක්ක බිස්නස් ට්‍රිප් ගිය හැටි? ඒවා මම දැන ගත්තාම මගේ ඉස්සරහා දණින් වැටිලා ආයේ එහෙම වෙන්නෙ නෑ මගේ මැණික කියලා අඬපු හැටි? ඒත් ආයෙත් ඒ වැරැද්දම කරපු හැටි?
ඇයි ඔයාට ඒවා මතක නැති වුනේ?
කොහොම වුනත් මම ගෙදරින් එළියට බැස්සේ ඔයාට ආදරේ නැතුව නෙවෙයි.ඒත් අපි දෙන්නා තව දුරටත් එක වහළක් යට ඉන්න එක තේරුමක් නැති නිසා.
මන් ආයේ එහෙම කරන්නේ නෑ කියලා ඔයාගේ දෙපතුල් අල්ලලා වඳිනකොට කකුලෙන් ගැහුව්වේ මොන හිතකින්ද කුශාන්? ඔයා ඔයාගේ ලෝකේ තනිවෙලා. මන් කරපු වැරැද්ද ඔයා නිදහසට කාරණාවක් කරගත්තා. පිරිමි ලන්වෙන්න ආවත් මට ආයේ ආදරේ කරන්න බෑ කුශාන්.. සහන්ට ලන් වුනාට මන් එයාට ආදරේ කරල නෑ කියලා මම දැනගත්තා..ඒත් ඔයා?? ඔයා මට ඇරෙන්න වෙන හැම ගෑනියෙක්ටම ආදරේ කරලා..ඒ නිසානේ මම මෙහෙම දුක් විඳිනකොටත් ඔයාට ගාණක් වත් නැත්තේ..
අවුරුදු දෙකක් හිත අතීතයට ගියා. මගේ ජීවිතේ වැරදිලා ඉවරයි..ඒත් මට තරහක් නැ කුශාන්.. ඔයා සතුටින් නම් ඒ මට හොඳටම ඇති.. කඩා වැටිච්ච හිත හදාගෙන මම ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටේ පන්තියට යන්න බලාගෙන..
ආලයක් නැති.. තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැරයමි..
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි..
වසා ගන් දොර මගේ හිමියෙනි
නුඹට රිසි නම් යන්නට යන්නෙමි..
බැන්ද රන් දම්..මගේ ගෙළ වට
මුදා විසිකොට..අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි
වසා ගන් දොර..මගේ හිමියෙනි
නුඹ රිසි නම් යන්නට යන්නෙමි...
~Red Riding Hood~
2nd year
Faculty of Law
Friday, July 27, 2012
හද එළියෙන් පාර අහන්
හද එළියෙන් පාර අහන්
පිණි අහුරක සිසිල දෙන්න
ඔබ එනතුරු බලා හිදිමි
ළගට වෙලා සිනාසෙන්න.....
මල් පොහොට්ටු සිහින විලේ
සුරංගනා මල් පිපෙන්න
හීන පිරුණු පුංචි හදේ
පුංචි ඉඩක් මට තියන්න.....
සද එළියට අත වනලා
තරු කැකුළිය හිනා වෙන්න
මම ආසයි හැම තිස්සෙම
ඔය හුස්මක හැංගි ඉන්න.....
පිණි අහුරක සිසිල දෙන්න
ඔබ එනතුරු බලා හිදිමි
ළගට වෙලා සිනාසෙන්න.....
මල් පොහොට්ටු සිහින විලේ
සුරංගනා මල් පිපෙන්න
හීන පිරුණු පුංචි හදේ
පුංචි ඉඩක් මට තියන්න.....
සද එළියට අත වනලා
තරු කැකුළිය හිනා වෙන්න
මම ආසයි හැම තිස්සෙම
ඔය හුස්මක හැංගි ඉන්න.....
රුවිනි අමරසින්හ
විද්‍යා පීඨය
පලමු වසර
පලමු වසර
Tuesday, July 17, 2012
ආදරණිය වූ දුම්රිය
එකිනෙකා හමුවන
එකිනෙකා වෙන්වන
ආදරණිය වූ දුම්රිය
එක වරක නොව
දෙවරක් නොව
තුන් වරක්
ඇය හා මම
ලංකලා නොවේද..... ?
එසේ හමු උනු ඇය
හිත් කොනේ ලැගුම් ගෙන
තව තවත් ලං ලංව
මගේ සිත රිදවයිද .....?
හිතා ගනු බෑ මටම
ඇය අන්සතු බව දැන දැනම
මා කෙසේ ලං වෙමිද .... ?
කියාගනු බෑ ඇයට
ඇයට මම ආදරේ බව
සුපුන් ලක්මාල් -
විද්‍යා පීඨය
පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය
Sunday, July 15, 2012
ෆැන්ටසියකට මගෙ හිතේ ප්‍රේමයක්...!
තව කෙනෙකුගේ හීනයක් මගෙ හීනයක් වෙන්න පුලුවන්ද?
එහෙව් හීනෙකට මගෙ හිතේ ප්‍රෙමයක්.....!!
" යථාර්තය නෙවේ ඔය......"
ඔබ කියාවි.....
"ඔය ෆැන්ටසියක්.....!
කාගෙ හරි හිතක මැවුන මායාවක් විතරයි."
ඒත් මගෙ හිතේ ප්‍රෙමය තවමත් එහෙම්මමයි.....
The beauty of danger
තෙල් සායම් උපයෝගී කරගෙන අඟල් 12 x 18 කැන්වස් රෙද්දක් මත අඳින මෙම අගනා සිතුවම සඳහා පැය 8ක පමණ කාලයක් ගත වූ බව එහි සිත්තම්කරු සඳහන් කර එවන ලදි. තම විවේක කාලය මෙවැනි නිර්මාණ සඳහා වැය කරන ඔහු මේ වන විට මෙවැනි සිතුවම් 60කට අධික ප්‍රමාණයක් ඔහු සිතුවම් කර තිබෙනවා.
තමාගේම අදහසකට හා තමාගේම ශෛලියක් භාවිතා කරමින් ඇඳි මෙම චිත්‍රය ඇඳීම සඳහා සැබෑ කොටියන්ගේ ඡායාරූ කිහිපයක්ම අධ්‍යනය කර තිබෙනවා. කුඩා අවදියේ සිටම චිත්‍ර කළාවට යොමු වූ සිත්තරකරුට තම පවුලේ අයගෙන් ලැබෙන්නේ නොමඳ සහයෝගයකි.
ඔහුගේ තවත් නිර්මාණ voiceofcolombo.blogspot.com ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
තමාගේම අදහසකට හා තමාගේම ශෛලියක් භාවිතා කරමින් ඇඳි මෙම චිත්‍රය ඇඳීම සඳහා සැබෑ කොටියන්ගේ ඡායාරූ කිහිපයක්ම අධ්‍යනය කර තිබෙනවා. කුඩා අවදියේ සිටම චිත්‍ර කළාවට යොමු වූ සිත්තරකරුට තම පවුලේ අයගෙන් ලැබෙන්නේ නොමඳ සහයෝගයකි.
ඔහුගේ තවත් නිර්මාණ voiceofcolombo.blogspot.com ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රුක්මල් රත්නායක
විද්‍යා පීඨය
පළමු වසර
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
හුඟකාලෙක ඉඳන් අකුරු කරන්න ඕනා කියලා හිතේ පැලපදියම් වෙලා තිබුණු සිතළුවක්...පහුගිය ටිකේ අහපු දැකපු අත්විඳපු සිදුවීම් නිසා පණ පොවන්න ඕනා කියල සිතුණා.ඒ සිතිවිල්ලට හුඟක්ම පණ වැටුණේ පහුගිය දවසක "තරුණි" කාන්තා පුවත්පතේ දැකපු ලිපියක් නිසා.හරියටම දිනවකවානු මතක නැතිවුනත් එහි තිබුණු අර්ථයට දෑස් වල කඳුළුත් නැගුණා මතකයි මට.
"දියණිගේ ආරක්ෂාව ගැන සිතන්නට කාලයයි මේ..." යන තේමාවෙන් එහි, සැඳෑ සමයේ කොළඹ ඉඳන් නිවස බලා රැකියාව අහවර වී ගෙදර යන මහත්මයෙක් තමන්ට පු0චි ගැහැණු දරුවකු පිළිබඳ මුහුණ දෙන්නට වූ අත්දැකීමක් අපූරුවට විස්තර කරලා තිබුණා.
සරදමක් දෝ ප්‍රේමය……
මා එපා කිවු ඔබ
යලි ඇවිත් මා ලඟ
හඬා වැළපෙන කොට
කෙසේ ඉවතක බලමි මම...
දහක් දුක් සඟවා
හිනාවෙමි නුඹට මම
නුඹේ දුක අහගෙන
හුනිමි නොහඬාම මම...
Subscribe to:
Posts (Atom)


